Monday, January 30, 2017

SAITM ආයතනයේ උසස් පෙළ අසමත් සිසුන් MBBS උපාධිය හදාරනවාද?

ඇතැමුන් විසින් SAITM ආයතනයේ සිසුන් දෙදෙනෙකුගේ ලියාපදිංචි අංක දෙකක් සමාජ ජාලා වෙබ් අඩවි වල පතුරවා හරිමින් ඔවුන් උසස් පෙළ අසමත් යැ‍යි ප්‍රචාරයක් ගෙන යමින් සිටියි. මොවුන් පවසන ආකාරයට සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා උසස් පෙළ අසමත් කිසිඳු ශිෂ්‍යයෙකු බඳවා නොගැනේ.

MBBS උපාධිය සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා 2C 1Sට වඩා උසස් ප්‍රථිපලයක් අත්කර ගත් සිසුන්ය. (රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවම සුදුසුකම 3Sක් වන අතර 2006 වසරේ යාපනය විශ්ව විද්‍යාලයේ S3ක් ලබා ගත් සිසුවෙකු අධ්‍යාපනය ලබා ඇත. වර්ථමානයේද එවැනි සිසුන් ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකුගේ ප්‍රථිපලද C2 S1ක් වේ.)



එලෙස අයදුම්පත් ඉදිරිපත් කළ සිසුන් අවසානයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ(UGC) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂනයකට භාජනය වේ. සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා සිසුන් බඳවා ගන්නේ එම සියලුම සුදුසුකම් සැපුරූ පසුයි.

SAITM ආයතනයේ අනෙකුත් උපාධි පාඨමාලාවන්ද ඇති අතර එම ඇතැම් උපාධි පාඨමාලා සඳහා උසස් පෙළ අත්‍යාවශ්‍ය නොවේ. ඒ සඳහා ඩිප්ලෝමාවන් හදාරා පිවිසිය හැකිය. නිදසුනක් ලෙස සයිටම් ආයතනයේ Multimedia උපාධිය සඳහා ඩිප්ලෝමාව හදාරා පිවිසිය හැකිය.

සමාජ ජාලා වෙබ් අඩවි වල පැතිරෙන ලියාපදිංචි අංක දෙක පිළිබඳ:

මෙම සිසුන් දෙදෙනා ලියාපදිංචි වී ඇත්තේ රුසියාවේ MD උපාධිය සඳහායි. මෙහිදී එම සුදුසුකම් සලකා බලා ඇත්තේ රුසියාවේ නිස්නි නව්ග්‍රොඩ් විශ්ව විද්‍යාලයේ අවශ්‍යතාවන්ට අනුවය. සයිටම් ආයතනයට MBBS උපාධිය ප්‍රදානය කිරීමේ බලතල හිමි වීමත් සමඟ මොවුන් එම උපාධි පාඨමාලාවන්ට බඳවා නොගත් අතර ඔවුන් මේ වන විට සයිටම් ආයතනයේ ඉගෙනුම නොලබයි.